හොදි හලාගන්නෙ නැතුව ගැටේ ලිහාගත්ත බව කිව්ව මෛත්‍රීපාල ජනාධිපතිවරයා පසුගිය බදාදා (12) හොදි ටික ඔක්කොම ඇඟටම හලාගත්තද? නැද්ද යන්න දැන් සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවකි.
මෛත්‍රීපාල ජනාධිපතිවරයා පසුගිය අවුරැද්දෙ ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය ජය අරගෙන රනිල්ව අගමැති පදවියට පත්කොට දින සීයේ සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවාගන්න කොට මේ රටේ බොහෝ දෙනාගේ සිත්වල තිබුණේ ලොකු සැකයකි. ඉතිහාසයේ හැමදාමත් ආණ්ඩුවයි විපක්ෂයයි වශයෙන් වෙන් වී දේශපාලනයක් කළ ප්‍රධානම පක්ෂ දෙක ඒ ඔක්කොම එදිරිවාදුකම් එක රුයකින් අවසන් කොට එකම ආණ්ඩුවක කොයිතරම් කාලයක් ඉදිරියට යන්නෙ කොහොමද කියන එක ඒ සැකයට හේතුව විය.
නමුත් දින 100ක ආණ්ඩුව දින 200ක වගේ කාලයකට දිග්ගැසී අන්තිමේදී ඊළඟ මහ මැතිවරණයෙන් යළිත් සම්මුතිවාදී ආණ්ඩුවක් බිහිවෙන විට ඔය කියන සැකය බොහෝ දෙනා තුළින් දුරස් වී තිබුණේය. හැබැයි දැන් හදිසියේම මේ සැකය යළිත් රටේ මහජනතාවගේ සිත් තුළ හොල්මං කිරීමට පටන්ගෙන නැත්නම් පුදුමය. ජනාධිපති මෛත්‍රීපාලගේ පසුගිය 13දා කතාව ඊට හේතුවයි.
මෛත්‍රීපාලගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිපයත් රනිල්ගේ නායකත්වයෙන් යුත් යූ.එන්.පී.යත් නියම &ඇසිඩ් ටෙස්ට්* එකකට මුහුණ දුන්නේ 19 වැනි ව්‍යවස්ථාව සම්මත කරගන්නට ගිය අවස්ථාවේදීය. අතීතයේ සිටම ප්‍රතිපත්තිමය වශයෙන් දෙකෙළවරක සිටි පක්ෂ දෙකකට යා හැකි දුර කොපමණදැයි මැනගැනීමේ පළමු අවස්ථාව නැතහොත් &ටෙස්ට්* එක එය විය. ජනාධිපතිටත් අගමැතිටත් දෙදෙනාටම එදා දවසම ගතකරන්න සිදුවුණේ පාර්ලිමේන්තුව තුළමය. අවසානයේ දෙපැත්තේම අඩුකිරීම්, වැඩිකිරීම් වලින් පසුව 19 වැනි ව්‍යවස්ථාව විරෝධයකින් තොරවම සම්මත විය. පක්ෂ දෙකටම ඉදිරියට තැබූ පියවර ගණනාවක් ආපස්සට ගන්නටත් සිදු වී තිබිණි. &අගමැතිතුමාත්, මාත් හොදි හලාගන්නෙ නැතුව ගැටේ ලිහාගත්තා* යැයි මෛත්‍රීපාල ජනාධිපතිවරයා කිව්වේ එදාය.
19න් පසුව ඊළඟට නියමිත වූ ව්‍යවස්ථා සංශෝධනය නම් ආවේ නැත. එහෙත් සම්මුති ආණ්ඩුවේ ඊළඟ &ටෙස්ට්* එක අයවැය අවස්ථාව විය. එයට සහාය දීම සඳහා ද ශ්‍රීලනිපයෙන් කොන්දේසි ගණනාවක් ඉදිරිපත් විය. වැඩි හෙට්ටු කිරීම් වලින් තොරව අයවැයත් ගොඩ දා ගැනීමට සම්මුති ආණ්ඩුවට හැකියාව ලැබුණේය.
මේ බාධක, ගල්පර අතරින් සම්මුති ආණ්ඩුව යාත්‍රා කරද්දී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ ක්‍රියාකලාපයත් සමඟ යළිත් හෙල්ලුම් කෑවේය. එහිදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා තම තද ස්ථාවරය ලිහිල් නොකොට අර්ජුන මහේන්ද්‍රන් යළිත් පත් නොකරන තැනට වැඩ කළේය. එය යූ.එන්.පී.ය පැත්තෙන් බැලූ බැල්මට අසාධාරණ තීන්දුවක් සේ පෙනුණත් සම්මුති ආණ්ඩුවට සහාය දක්වන බොහෝ දෙනාගේ අදහස වී තිබුණේ එම තීන්දුව හේතුවෙන් ආණ්ඩුවේ සායම බේරැණු බවය. ආණ්ඩුව බලයට පත්කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ මහාචාර්ය සරත් විජේසූරිය වරක් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ අගමැතිවරයා මහ බැංකු අධිපති අර්ජුන වෙනුවෙන් යහපාලන ආණ්ඩුවේ පැවැත්ම පවා අවදානමකට ගෙන තිබෙන බවය. ඒ ගැටලුව විසඳා ගැනීම සඳහා ඔහු ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයන් පිරිසකගේ මැදිහත්වීම ද සිදුවිය. එහිදී ඔවුන් සිටියේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා දැරෑ ස්ථාවරයේමය.
සම්මුතිවාදී ආණ්ඩුව එම ගැටලුව ලිහා ගැනීමෙන් පසුව මුහුණදෙන ලොකුම ගැටලුව ජනාධිපතිවරයාගේ බදාදා ප්‍රකාශයයි. ඔහු එම &මතභේදකාරී* ප්‍රකාශය සිදුකිරීමට තෝරාගෙන තිබුණේ ආරක්ෂක අමාත්‍යංශය සංවිධානය කළ &සත්විරැ උරැමය* නම් ආරක්ෂක අංශවලට නිවාස සහ ඉඩම් හිමිකම් ප්‍රතිලාභ පිරිනැමීමේ උත්සවයේදීය. කොළඹ පදනම් ආයතනයේදී මේ උත්සවය පැවැත්වුණි. එහිදී ජනාධිපතිවරයා සිදුකළ කතාවේ යහපාලන ආණ්ඩුවට බලපෑම් කළ හැකි ප්‍රකාශ කිහිපයක් මෙසේ උපුටා දැක්විය හැකිය.
“යුද්ධය කරපු හිටපු හමුදාපතිවරැ පරීක්ෂණ කිරීම සඳහා උසාවිවලට ඉදිරිපත් කිරීම ගැන මගේ අප්‍රසාදය පළ කරනවා. ඒ වගේම පරීක්ෂණ සඳහා හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු නාවික හමුදාපතිවරැන් උසාවියට ඉදිරිපත් කිරීම ගැනත් මගේ අප්‍රසාදය හා පිළිකුල පළ කරනවා. ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු කරන නිලධාරීන් ඒවායේ අරමුණු, ප්‍රතිපත්ති හා විෂය පථය දැනගෙන ඒවා අනුව කටයුතු කළ යුතුයි. මේවායේ නිලධාරීන් රාජ්‍ය ආරක්ෂාව හා හමුදා පරිපාලනය පිළිබඳව අවබෝධයක් නොමැතිව එය ගැන කල්පනා නොකර, එය ගැන කල්පනා කරන්න හැකියාවක් නොමැතිව, කරන කටයුතුවලට මගේ අප්‍රසාදය හා පිළිකුල පළ කරනවා.
මෙම ආයතනවල කටයුතු පිළිබඳව විවිධ පිරිස් අහුමුළුවල ඉඳලා විවිධ ප්‍රකාශ කරනවා. විවිධ චෝදනා පිළිබඳව පරීක්ෂා කළ යුතු නම් පිළිවෙළක් තියෙනවා. ස්වාධීන කොමිෂන් සභාවන් හිටපු ආරක්ෂක අංශ නිලධාරීන් සම්බන්ධයෙන් තමන් කරන්න යන දේ පිළිබඳව විධායකය වන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා ආරක්ෂක අමාත්‍යවරයා දැනුවත් කළ යුතුයි. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්වාධීන කොමිෂන් සභා හා විශේෂ ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභා පත්කිරීම නිසා අදාළ කොමිෂන් සභා ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුත්තන්ට මෙවැනි දැනුවත් කිරීමක් කළ යුතුයි. කොමිෂන් සභා කරන හැමදෙයක් ගැනම ජනාධිපතිවරයා දැනුවත් කළ යුතු බව මම කියන්නේ නැහැ. ඒත් රාජ්‍ය පැවැත්ම සැලකිල්ලට ගත යුතු අවස්ථාවලදී මෙවැනි දැනුවත් කිරීමක් සිදුවිය යුතුයි. කොමිෂන් සභා පත්කිරීම වැනි බලයක් ජනාධිපතිවරයාට ලබාදී තියෙන්නේ අවශ්‍ය අවස්ථාවලදී යම් පාලනය කිරීම් ඇතුළු කටයුතු කිරීමත් ඇතුළත්වයි.
අල්ලස් කොමිසම නාවික හමුදාපතිවරැන් තුන්දෙනකු අධිකරණයට ඉදිරිපත් කළාම හිටපු ජනාධිපතිවරයාත් ප්‍රකාශයක් කළා. ඒත් මම ජනාධිපති ධුරයට පත්වුණේ අධිකරණයට කෝල් කරන්නත්, ස්වාධීන කොමිෂන් සභාවලට ඇඟිලි ගසන්නත්, විනිශ්චයකාරවරැන්ට බලපෑම් කරන්නත්, නීතිපතිවරයා ලවා වැරදිකරැවන් නිදහස් කරගන්නත් නොවෙයි.*
ඔහු හමුදා බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධයෙන් ඔහු කළ සඳහන මෙසේය.
&යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් දැන් මාස 16ක් තිස්සේ හිරගත කරලා තියෙනවා. ඔවුන් වැරදි කර තිබෙනවා නම් ඔවුන්ට නඩු පැවරිය යුතුයි. නැත්තම් ඔවුන්ට ඇප දිය යුතුයි. එහෙමත් නැත්නම් ඔවුන් වරදක් කර නැතිනම් ඔවුන් නිදහස් කළ යුතුයි. ඒත් දැන් නොයෙකුත් අහුමුළුවල ඉඳලා මේ ගැන කටයුතු කරනවා කියලා පේනවා. රට තුළ සිදුවන මේ දේවල් ගැන මට විවෘතව තීන්දු තීරණ ගැනීම හා විවෘත ක්‍රියාමාර්ග ගන්න සිදුවෙනවා. මම අගමැතිවරයා හා අමාත්‍ය මණ්ඩලය සමඟ ඊයේ (11) සවස රුස්වීමක් පවත්වලා මේ ගැන කිව්වා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොට්ඨාසය දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරනවා නම් මට මේ ගැන තීන්දු තීරණ ගන්න සිදුවෙනවා.
මට කවුරැවත් හිරේ දාන්න වුවමනාවක් නැහැ. විවිධ පරීක්ෂණ කරන ආයතන තමන්ගේ පරීක්ෂණ ස්වාධීනව, අපක්ෂපාතීව හා සාධාරණව පැවැත්විය යුතුයි. අදාළ ආයතන ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන අදාළ ආයතන දැනගත යුතුයි. එක් පිරිසකට එක් විදියකටත්, තවත් පිරිසකට තවත් විදියකටත් සලකන්න මේ ආයතනවලට බැහැ. දැන් සමහරැ කියන්නේ මම මේ වගේ කටයුතුවලට මැදිහත් වෙනවා කියලායි. ඒත් මේ අත්අඩංගුවට ගැනීම් ගැන මම දන්නේත් ඒවා සිදුවුණාට පස්සෙයි. මම දැන් මේ දේවල් කිව්වේ නැතිනම් අනවශ්‍ය දේවල්වලට මම පැටලෙනවා. ස්වාධීන කොමිෂන් සභාවල නිලධාරීන් යහපත් මනසකින් යුතුව කටයුතු කළ යුතුයි*.
ජනපතිගේ මේ ප්‍රකාශයට විවිධ ප්‍රතිචාර ලැබෙන බව බ්‍රහස්පතින්දා (13) වනවිටම පැහැදිලි විය. ජවිපෙ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ ජනපතිගේ බරපතළ ප්‍රකාශය ජනපතිට ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂයට සහ ජනවරමට අභියෝග කර තිබෙන බවය. දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් තවදුරටත් කියා තිබුණේ පසුගිය කාලයේ සිදුවූ වංචා දූෂණ සහ අපරාධ පිළිබඳ පරීක්ෂණ පවත්වන ආයතන මෙවැනි ප්‍රකාශ මගින් අධෛර්යයට පත්වන බවය.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කියා තිබුණේ මූල්‍ය අපරාධ කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන දේශපාලනීකරණය වී විරැද්ධවාදීන් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන බවට ජනාධිපතිවරයා එම කතාවෙන් පිළිගෙන තිබෙන බවය. ජනාධිපති මෙසේ කතා කරනවිට දැන් රට පාලනය කරන්නේ කවුදැයි යන ප්‍රශ්නය මතුවන බවද විමල් කිව්වේය. මේ චෝදනාවලට අගමැතිවරයා පිළිතුරැ දිය යුතු බවත් ඔහු සඳහන් කර තිබිණි.
ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් කෙළින්ම ඇඟිල්ල දිගුවන්නේ අගමැතිවරයාට බවය. එසේ නොවන්නේ යැයි හැකි නම් ප්‍රකාශයක් කරන ලෙසට අගමැතිවරයාට අභිගෝය කරන බවත් ඔහු කිව්වේය. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ බරපතළ දේශපාලන අර්බුදයක් ආණ්ඩුව තුළ තිබෙන බැවින් ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බවය.
කෙසේ වුවද මීට වෙනස් අදහස් ප්‍රකාශ කළේ ජාතික හෙළ උරැමයයි. ඔවුන් කිවේ දූෂණ වංචා සිදුකළ අය සොයා දඬුවම් ලබාදීමට පත් කර ඇති ආයතන සිය වගකීම් ඉටුකිරීම දිනෙන් දින ප්‍රමාද කිරීම හා ඒවායේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කේන්තියක් ඇති වීම ගැන පුදුම විය යුතු නැති බවය. මේ ප්‍රකාශය සිදුකළ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ තවදුරටත් කිව්වේ ආරක්ෂක අංශ සාමාජිකයන් උසාවියට ගෙනයාමටද දක්වන උනන්දව මහාපරිමාණ හොරැන් ඇල්ලීම සම්බන්ධයෙන් දක්නට නොලැබෙන බවය. ඔහු පවසන්නේ ජනපතිවරයාගේ මුහුණෙන් පවා එම කලකිරීම පෙනෙන බවය. මේ කතාවෙන් පෙනෙන්නේ ජාතික හෙළ උරැමය ජනපතිගේ කතාව අනුමත කරන බවය. මහා පරිමාණ හොරැන් ඇල්ලීමේදී ආණ්ඩුව ප්‍රමාද බවට ඇඟවෙන ප්‍රකාශ කීපයක් චම්පික ඇමැතිවරයාද මීට පෙර ප්‍රකාශ කර තිබුණේය.
ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන් යූ.එන්.පිය කිසිවක් කියන්නට ගියේ නැත. එසේ වුවද බ්‍රහස්පතින්දා (13) රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ජනපති, අගමැති සහ නීතිය සහ සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක අතර සාකච්ඡාවක් පැවැත්විණි. සී.අයිඩිය, එෆ්.සී.අයිඩිය සහ අල්ලස් කොමිසම සම්බන්ධයෙන් කර තිබු ප්‍රකාශය මේ සාකච්ඡාවට පදනම වූ බව දැනගන්නට තිබේ. එසේම නායකයන් දෙදෙනා අතර ඇති වී තිබෙන මත ගැටුම නිරාකරණය සඳහා යම් සාකච්ඡාවක් පැවැත්වුණු බව කියැවුණත් තවත් ආරංචි මාර්ගයකින් කියැවුණේ මේ සාකච්ඡාවේදී ජනපතිගේ දැඩි ස්ථාවරය නොවෙනස්ව තිබූ බවය. අගමැතිවරයා මෙහිදී අදහස් දැක්වීමෙන් වැළකී සිටි බව සමහරැ කියති. යූ.එන්.පි.ය පසුගිය දින කීපයේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමද අත්හිටුවා තිබුණේ තත්ත්වය සමනය වනතුරැ බවද සඳහන්ය.
මේ අතර අර්ජුන් මහේන්ද්‍රන්ගේ සිද්ධියේදී ජනපතිගේ සහායට පැමිණි යහපාලනය සඳහා වූ සිවිල් ක්‍රියාකාරිකයන් මේ අවස්ථාවේදී සම්පුර්ණයෙන් කනපිට ගැසුවේය. ඔවුන් සිකුරාදා (14) දහවල් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කිව්වේ ජනපතිගේ ප්‍රකාශය ජනවාරි 08 වැනිදා ලැබූ ජනවරමට එරෙහිව යාමක් බවය. ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ කළ අදහස් දැක්වීමද ඔවුන්ගේ විවේචනයට ලක්විය. සිවිල් ක්‍රියාකාරිකයන් මේ අවස්ථාවේදී අගමැතිවරයාගේ ස්ථාවරය දරණ බව පැහැදිලිය. ඔවුන් තම විරෝධය කොතරම් දැඩිව පළ කරන්නේදැයි යන්න ජනපතිගේ රාත්‍රී භෝජන සංග්‍රහය වර්ජනය කිරීමට ගත් තීන්දුවෙන් සිතාගත හැකිය. ජනපතිවරයා සිකුරාදා රාත්‍රී භෝජන සංග්‍රහයකට පැමිණෙන්නැයි මෙරට කලාකරැවන් බොහෝ දෙනකුට ඇරුයුම් කර තිබුණේය. නමුත් සිවිල් ක්‍රියාකාරිත්වයට සම්බන්ධව සිටින පුරවැසි බලකායට අයත් කලාකරැවන් රාත්‍රී භෝජන සංග්‍රහය වර්ජනය කරන බව එම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුණි.
ජනපතිගේ මේ ප්‍රකාශය දැන් රටේ මහජනතාව අතරද මහත් ආන්දෝලනයක් ඇතිකර තිබේ. සමහරැන් ප්‍රශ්න කරන්නේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව චෝදනා තිබේනම් ඒවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සෙසු චෝදනාලාභීන්ට එරෙහිව පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමේ සාධාරණත්වය කුමක්ද කියාය. එෆ්.සී.අයි.ඩිය මගින් අවස්ථා ගණනාවකදීම ගෝඨාභය කැඳවා ප්‍රශ්න කරනු ලැබ තිබුණේය. ඔහු අවස්ථා ගණනාවකදී උසාවිය හමුවටද පමුණුවන ලැබීය. නමුත් ජනපති හදිසියේම මෙවර ගෝඨාභය උසාවිය හමුවට පැමිණවීමෙන් පසුව බරපතළ ප්‍රකාශයක් කිරීමට පෙළඹුණේ ඇයිද යන්න විවාදයට තුඩු දී තිබේ.
මේ අතර අර්ජුන් මහේන්දුන්ගේ බෑනා වන අර්ජුන ඇලෝසියස්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කැඳවීමට අගමැතිවරයා පියවර ගෙන තිබුණි. මෙයට හේතුව වී ඇත්තේ එම සමාගම සම්බන්ධයෙන් පසුගියදා දින කීපය තුළදී එල්ල වූ චෝදනා බව පැවැසෙයි.
මෙකී සමාගම මගින් පසුගිය වසරේදී බැඳුම්කර මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙරට තුළ විවාදයක් ඇතිවිය. එය අවසන් වූයේ අර්ජුන් මහේන්ද්‍රන්ට මහබැංකු අධිපති පදවිය අහිමි වීමෙනි. ඉන්පසුව ඔහු අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශකයකු වශයෙන් බඳවා ගනු ලැබුවේය. එතැනින් පසුව මේ කතා යටපත්ව ගියත් මීට සතියකට පමණ පෙරදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම පසුගිය මාස 14 තුළදී ලැබු ලාභය රැපියල් බිලියන 10ක් (කෝටි දාහක්) ඉක්මවන බවට පළවූ මහබැංකු වාර්තාව හේතුවෙන් එය යළිත් කරළියට ආවේය. 2016 වසරේ අප්‍රේල් - මැයි මාසවලදී පමණක් ඔවුන් ලබා තිබූ ලාභය බිලියන 5ක් (කෝටි 500ක්) ඉක්මවන බවත් එම වාර්තාව හෙළිකර තිබුණේය.
ආදායම් බදු ගෙවීමෙන් පසුව මෙතරම් ලාබයක් ලබාගැනීමට එම සමාගමට හැකිවූයේ කෙසේද යන්න පරික්ෂා කිරීම අවශ්‍ය යැයි ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහසය. මේ පිළිබඳව පරීක්ෂා කරන්නැයි විපක්ෂ දේශපාලන නායකයන්ගෙන්ද ඉල්ලීම් ලැබෙමින් තිබේ. ඒකාබද්ධ විපක්ෂ කැඳවුම්කරැ දිනේෂ් ගුණවර්ධන පැවසුවේ මේ සමාගමේ වත්කම් සීල් තබා පරික්ෂණයක් ඇරුඹිය යුතු බවය. මේ අතර පර්පෙචුවල් සමාගමේ ලාභාංශ ඇතුළත් වාර්තාව එළියට ගියේ කෙසේදැයි සොයා මහබැංකුවද පරික්ෂණයක් අරඹා තිබේ. මේ කරැණු ඇතුළත් වාර්තාව මහ බැංකුව මගින් සකස් කළ කෙටුම් පතක අඩංගු වී තිබූ බවත් සඳහන්ය.
මහබැංකුව යහපාලන ආණ්ඩුවට &හොදි හලා නොගෙන ගැටය ලිහාගත්* කාලයේදී පවා ගැටලුවක් වී තිබුණේය. එම ගැටලුව තවමත් ඉවර නැත. ඒ අතරවාරයේ සිදුකෙරැණු ජනපතිගේ බරපතළ ප්‍රකාශය යහපාලන ආණ්ඩුවට පාරා වළල්ලක් වීමටද බැරි නැත.
ශශින්ද්‍ර